Saturday, November 16, 2013

අපි හැමෝම ගාව තියෙන දෙයක්. ඒත් අපි ගාව තියෙනවද කියලත් අමතක කරන දෙයක්,"ජීවිතය" (ජීවිතය ලිපි 02)

                   ජීවිතේ වෙලාවකට හරිම කාර්‍යබහුලයි. ජීවිතේ ගැන කතා කරන්නත් වෙලාවක් වෙන් කරගන්න වෙලාවකට බොහොම අමාරුයි. බොහොම අමාරුවෙන් හරි වෙන් කරගත්ත මේ වෙලාවෙ හිතුවා ජීවිතේ ගැන පොඩ්ඩක් කතා කරන්න.
                                                         අපි හැමෝම ගාව තියෙන දෙයක්. ඒත් වෙලාවකට අපි ගාව තියෙනවද කියලත් අමතක කරන දෙයක්. ජීවිතය, අපි හැමෝටම උරුම වුන දෙයක්. ඒත් අපි ජීවිතේදී කරන කියන සමහර දේවල් අපෙ ජීවිත වලට කොයිතරම් බලපානවද කියලා අපි ඇත්තටම හිතුවද? ජීවත් වෙන්න අපි හැමෝම ආසයි. "කලාතුරකින් අවස්ථාවක හැර" කලාතුරකින් අවස්ථාවක? "ඔව්, ඇයි සියදිවි නසාගන්න අය" "ජීවත් වෙල එපා වෙලා කියල කියන අය" නෑ... ඒක ඇත්ත නෙවෙයි. ඇයි එයාලට එහෙම උනේ? ජීවිතේ ලස්සනට ගෙවන්න හිතන විදියට ගෙවන්න බැරි උනාම, තමන්ගේ ජීවිතේ ඇතුලේ ගඳ ගහන ප්‍රශ්න, දුක් කන්ඳරාව ගොඩගැහුනම එයාල ඒ තීරනේ ගන්නවා. හැබැයි ඒ ජීවිතේට ආසාවක් නැති නිසා නෙවෙයි. අපිටත් වඩා එයාල ජීවිතේට ආස කරපු නිසා. ආදරේ කරපු නිසා. ඒ ජීවිතය ලස්සන කරන්න හීන දැකපු නිසා. ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නැති තැනට ආවම එයාලා ජීවිතෙන් පළායන්න උත්සහ කරනවා. ඒත් එයාල එකක් අමතක කරනවා, මරණයෙන් ජීවිතය කෙලවරක් නොවෙන බව. ගත්ත තීරණය නිසා මරණයෙන් පස්සේ ලැබෙන ජීවිතය එයාල දකිනවනම් දුකින් පිරුනු මේ ජීවිතය සැපයි කියාවි. ඒ නිසා පළා යෑම පිළිතුර නෙවෙයි. ඒ තැනට එනකන් ජීවිතේ ගෙනාපු එකයි වරද. ඒ කියන්නේ මුලයි වැරදුනේ. ඉතිං අග හදන්න බෑ.

                                   අපිට අතීතය මතක් වෙනවා ආනාගතය මතක් වෙන්නේ නෑ. හැබැයි අපිට අනාගතය වෙනස් කරන්න පුළුවන් ඒත් අතීතය වෙනස් කරන්න බෑ. ඒ දේ හොඳින් මතකයේ තියාගෙන ජීවිතය ගෙවන්න. ඔබ මම නොහිතන, කරන කියන පුංචි දෙයක් ජීවිතේටම ගොඩක් බලපාන්න පුළුවන්. ඒ ගැන තවත් හිතන්න. හැමදාම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. ඒත් සෑම දේකම ඇති දිග පළල ස්කන්ධය තේරුම් ගන්න. ඔහේ පාවෙන ජීවිතයක් වෙන්න එපා.  සැහැල්ලු ජීවිතය වඩාත් උතුම් දෙයක්. ඒත් සැහැල්ලු බව නිසා අහසේ පාවෙන පුළුන් රොදක් වෙන්නෙපා. ඔහේ පාවෙලා ගිහින් මඩකඩිත්තකට වැටුනොත් සදහටම ගිලිලා යටටම යාවි. ගින්දර ගොඩකට වැටුනොත් පිච්චිලා අළු වෙලා යාවි. මේ මහපොළොව මත දෙපා පිහිටුවා ගත් සැබෑ මිනිසෙකු වෙන්න. උරුම වූ ජීවිතය කරුමයක් කරන් ඒ උරුමය මරණය තෙක් රැගෙන යන්නෙපා. වෙනස් කරන්න. ඔබව පාලනය කරන්නේ නොපෙනෙන දෙවියෙක්වත් නොපෙනෙන බලවේගයක්වත් නොවෙයි. සැබෑ ලෝකයේ සියළු දේ මවන සියළු දේ නසන එකම දෙවියා ඔබේ සිතයි. එය තේරුම් අරගෙන ජීවිතය ලස්සන කරගන්න. මොකද මේ ජීවිතය පටන් ගත්තා විතරයි.


                                           තෙරුවන් සරණයි!
මම , අයි ඒ ටී අඹගහවත්ත.

සියළු කොදෙව්ව බ්ලොග් අඩවිය.

2 comments: