Monday, May 15, 2023

බුලත්විට කෑම සහ මුඛ පිලිකා / Betel Nut Chewing and Oral Cancer

බුලත්විට කෑම සහ මුඛ පිලිකා

ලෝකයෙන්ම කාන්තාවන්ගේ වැඩියෙන්ම වාර්තා වන පිළිකා වන්නේ පියයුරු පිළිකාය. පිරිමින්ගේ නම් ලෝකයෙන්ම එය පෙනහලු පිලිකාවේ. දෙවනුවට හා තෙවනුවට පිළිවෙලින් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සහ මහ බඩවැලේ පිලිකා පිරිමින් තුළ බහුලව හමුවේ. නමුත් ශ්‍රී ලංකාව තුළ පිරිමින්ගේ බහුලවම  වාර්තා වන පිළිකා වර්ගය වන්නේ මුඛ පිලිකාය. එයට ප්‍රධානම හේතුව ලෙස බුලත් විට භාවිතය හැඳින්විය හැක. ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝග නිසා මිය යන ප්‍රතිශතය සමස්ත මරණ සංඛ්‍යාවෙන් 10%කි.

අධික ලෙස පැතිරුණු මුඛ පිළිකාවක්

ශ්‍රී ලංකාව තුළ කළ නවතම සමීක්ෂණයකට අනුව බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අතර මුඛ පිළිකා ඇතිවීමේ අවධානම 8%ක්ද,  අනෙක් ජනතාව තුල මුඛ පිළිකාව වැළඳීමේ අවධානම 3.4% ලෙස ද සොයාගෙන ඇත. එය පිටුපස ඇති හේතුව නම් මේ බුලත් විටයි.එසේම අද වෙනකොට මේ බුලත් විට හැපීම නිසා ඇතිවන මුඛ පිළිකා වලින් දිනකට රෝගීන් හතර දෙනකු පමණ මිය යනවා.

බුලත්විට සඳහා යොදා ගන්නා දුම්කොළ වල පමණක් පිළිකා සෑදිය හැකි රසායනික ද්‍රව්‍ය 28 ක් තිබේ. එසේම පුවක්වල සහ හුණුවල ද පිළිකා ඇති කළ හැකි සංඝටක තිබේ.

දීර්ඝ කාලයක් බුලත් විට භාවිතා කරන්නෙකුගේ මුඛය තුළ, පහත රූපයේ දක්වා ඇති ලෙස පූර්ව පිළිකා තත්ව ලෙස හැඳින්විය හැකි සුදු පැහැති කුඩා පැල්ලම් ඇති වේ. මුඛය විවෘත කිරීමට ඇති අපහසුව, නිතර ඇතිවෙන දැවිල්ල ගතිය, නිතර නිතර මුඛය තුළ තුවාල සෑදීම බුලත්විට භාවිතා කරන්නෙකුගේ පූර්ව පිළිකා ලක්ෂණ ලෙස ඇතිවිය හැකිය.
මුඛ පිළිකාව සෑදීමට පෙර මුඛය තුළ හමුවන සුදු පැහැති පැල්ලම්.

අප දකුණු ආසියාවේ සෞඛ්‍ය දර්ශක වල ඉහලින්ම ඉන්න රට උනත්, ලෝකයේ අනෙක් රටවල් වල මුඛ පිළිකාව තිබෙන්නේ ගොඩක්ම පහලින්. නමුත් අපේ තියෙන්නෙ අංක එකට. මේකට ශ්‍රී ලංකාව තුළ අධික දුම්වැටි භාවිතයත් හේතුවක් වෙනවා. දුම්වැටි වල භාවිතා වන දුම්කොළ නිසා මුඛ පිළිකා වගේම ශ්වාසනාළ සහ පෙණහලු වලද පිළිකා තත්ව ඇති කරනවා.නමුත් මේ මුඛ පිළිකාව කියන්නේ අපිට ලේසියෙන්ම වළක්වා ගන්න පුළුවන් පිළිකාවක්. නමුත් හැදුනට පස්සේ ප්‍රතිකාර කිරීම බොහොම අපහසු සහ වේදනාකාරී වගේම අවසානයේ අතුරු ආබාධ බහුලව ඇතිවන පිලිකා වර්ගයක් වෙනවා. බොහොමයක් අවස්ථාවල මුඛ පිළිකාව හඳුනා ගැනීම ප්‍රමාද වන අතර, සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමට ද නොහැකි වන බරපතළ පිළිකා තත්වයක් බවට පත්වෙනවා.

ඉන්දියාවේ ද මේ වනවිට ප්‍රාන්ත ගණනාවක, හපන දුම්කොළ සහ පුවක් භාවිතය නීතියෙන්ම තහනම් කර තිබෙනවා. ඒ නිසාම ඉන්දියාවේ නිෂ්පාදනය වෙන බොහෝ පුවක් වර්ග සහ දුම් කොළ වර්ග ශ්‍රී ලංකාවට බහුලව ආනයනය වෙනවා. නමුත් ශ්‍රී ලංකාව තුළ බුලත්විට සහ පුවක් භාවිතය වගේම දුම්කොළ ආශ්‍රිත මේ දුම්වැටි භාවිතය පිලිබදව නිසි නීති පද්ධතියක් ඇත්තේ නැහැ. 

අකාලයේ ජීවිතය විනාශ වෙන්නට නොදී ඔබේ ජීවිතය විනාශ කරන්න හේතු වෙන ඔය පුරුද්දෙන් දැම්ම අපි අත්මිදෙමු.

Ref. MOH Sri Lanka
🖋️Dr. Inusha Ambagahawatta


 

No comments:

Post a Comment