Thursday, May 18, 2023

උපත් පාලනය ගැන දැනගත යුතුම කරුණු කිහිපයක්..



උපත් පාලන ක්‍රම ගැන, දැනගත යුතුම කරුණු කිහිපයක්
(+14) (ලිපිය වයස 14ට වැඩි අය සඳහා වඩාත් සුදුසුයි)

උපත් පාලනය ඇතුළු ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිවැරදි දැනුමක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ලෝකයේ අනෙක් දියුණු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ ලිංගික අධ්‍යාපනය පිළිබඳව ඇත්තේ බහුතරයක් වැරදි මතයන් වෙනවා. ළමා කාලයේ සිට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම නිසා විවිධ සමාජයීය ගැටලු වලට ශ්‍රී ලංකාව තුළ අපට පත් වීමට සිදුව තිබෙනවා.

නිවැරදි උපත් පාලන ක්‍රම දැනගැනීම ජීවිතයේ ඇතිවන විශාල ගැටළු වලින් බේරීමට හේතුවක් වෙනවා. උපත් පාලන ක්‍රම ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකියි,
1. ස්වභාවික උපත් පාලන ක්‍රම.
2. කෘතිම උපත් පාලන ක්‍රම.

*. ස්වභාවික උපත් පාලන ක්‍රම නමින් හඳුන්වන්නේ, හෝමෝන හෝ උපකරණයක් භාවිතා නොකර උපත් පාලනය සිදු කිරීමයි.
උදාහරණ ලෙස,
*1. Coitus Interruptus*
මේ නමින් හදුන්වන්නේ, ලිංගික එකතුවීමකදී ශුක්‍ර තරලය පිටවීමට පෙර,ශිෂ්ණය ඉවත් කිරීමයි.
*2.සරු කාලය මගහැරීම*
කාන්තාවකගේ ඩිම්බ මෝචනය වන සරු කාලය මඟහැර ලිංගිකව එකතුවීම මේ නමින් හඳුන්වයි. ඩිම්බ මෝචනය වී , දරු ගැබක් ඇතිවිය හැකියි හැකි කාලය වන්නේ, නැවත ඔසප් වීමට තිබෙන දින සිට දින 14ක්  පෙරට ගණන් කර ,එන දිනයෙන් දින 5ක් පෙරට සහ දින 5ක් පසුවට එන කාලපරාසයයි. එම කාලය මඟ හැරීම මෙම ක්‍රමයේදී සිදු කරයි.

*මෙම ස්වභාවික ස්වභාවික උපත් පාලන ක්‍රමවල සාර්ථකභාවය ඉතා අවම අතර, ගැබ් ගැනීමක් ඇති වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.

කෘතිම උපත් පාලන ක්‍රම යටතේ,
*1. හෝමෝන උපත් පාලන ක්‍රම*
මෙහිදී, *OCP* එහෙමත් නැතිනම් හැමෝම දන්න මිතුරි පෙති, 
*Depo Provera Injection* එහෙමත් නැතිනම් අතට බෙහෙත් විදීම,
*Hormonal Implants* එහෙමත් නැතිනම් ජඩෙල්ලා දැමීම.
*Emergency Pills* හෙවත් Postinor 2, හදිසි ගැබ්ගැනීම් වැලැක්වීමේ පෙත්ත.

*2.හෝමෝනමය නොවන කෘතිම උපත් පාලන ක්‍රම*

ඒ යටතේ,
ලූප් දැමීම, කොන්ඩම් භාවිතය(කාන්තා සහ පිරිමි කොන්ඩම්)

ස්ථිර උපත් පාලන ක්‍රම යටතේ,
*LRT* සහ *VASECTOMY* යන ශල්‍යකර්ම ඇත.

මිතුරි පෙති ලෙසින් හැමෝම දන්න, උපත් පාලන පෙති වල ප්‍රධාන වශයෙන් ඇත්තේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන වල එකතුවයි,  මේ එක පැකට්ටුවක පෙති විසි අටක් තිබෙන අතර, එම පෙති 28න් 21ක ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන විවිධ සාන්ද්‍රණයන් වලින් ඇත, අවසාන පෙති 7 යකඩ අඩංගු පෙති හතක් වේ. 
මෙම උපත් පාලන ක්‍රමය වඩාත් නිවැරදි උපත් පාලන ක්‍රමයක් වන අතර අතුරු ආබාධ ලෙස ඇත්තේ, තරබාරු වීම, හිසේ කැක්කුම, වසර පහකට වඩා එක දිගට භාවිතා කිරීමෙන් ඇතිවන ඉතා සුළු මට්ටමේ පිළිකා අවදානම.

හෝමෝන ඉන්ජෙක්ෂන් ලෙස අතට විදීම, ඉතා ආරක්ෂාකාරී ක්‍රමයක් වන අතර මාස තුනෙන් තුනට මේ බෙහෙත විදීම අවශ්‍යයි. මෙහිදී විදින්නේ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පමණක් නිසා තරබාරු වීම සහ හිසේ කැක්කුම වැනි අතුරු ආබාධ ඇති නොවේ. එසේම පිළිකා අවදානමක් ද නැත. මෙම ඉන්ජෙක්ෂන් එක මගින් ඇගේ ප්‍රොජෙස්ටරෝන් ප්‍රමාණය වැඩිකර ඔසප් වීම තාවකාලිකව නවතා දමයි. නමුත් සමහර අයට ඔසප් වීම සිදු විය හැක. මෙහිදී විය හැකි අතුරු ආබාධය වන්නේ, ඔසප් වීම අක්‍රමවත් ලෙස සිදු වීමයි. බොහෝ දෙනකු අතර ඇති වැරදි මතයක් වන්නේ බෙහෙත විදීම නිසා ඔසප් නොවීමෙන් කල්පවතින කැක්කුම් හෝ වෙනත් ආබාධයන් ඇතිවිය හැකි බවයි. එය වැරදි මතයක්.

අතට කරල දැමීමත්, එහෙමත් නැතිනම් ජඩෙල්ලා දැමීම, බෙහෙත විදීම හා සමාන ක්‍රමයක්. නමුත් ජඩෙල්ලා දමන්නේ අවුරුදු දෙකකට හෝ අවුරුදු පහකට වේ. එම නිසා දීර්ඝකාලීන උපත් පාලන ක්‍රමයක් සොයන්නෙකුට එම ක්‍රමය යෝග්‍ය වේ.

හදිසි ගැබ් ගැනීම වැළැක්වීමේ පෙති, එහෙමත් නැතිනම් හැමෝම දන්න Postinor 2  කියන පෙත්ත හදිසි අවස්ථාවකදී පමණක් භාවිතා කලයුතු බෙහෙතක්. නමුත් අපේ සමාජයේ ගොඩක් කාන්තාවන් මේක නිතරම භාවිතා කරනවා. මේක විශාල අතුරු ආබාධ ඇති කරන්න පුළුවන් අවදානම් ක්‍රියාවක්.

ලූප් දැමීමත් සමාජයේ බොහොම ප්‍රසිද්ධ උපත් පාලන ක්‍රමයක්. මෙහිදී හෝමෝන අන්තර්ගත ලූප් සහ හෝමෝන රහිත ලුප්ද ඇත. හෝමෝන සහිත ලූප් වල ක්‍රියාකාරීත්වය ඉතා වැඩියි. මෙම උපත් පාලන ක්‍රමයේ අතුරු ආබාධයන් වන්නේ, නාල වල දරු උපත් සිදුවීම, ඔසප් වීම අක්‍රමවත් වීම, යටි බඩේ කල්පවතින කැක්කුම වේ.

කොන්ඩම් භාවිතය සමාජයේ ප්‍රසිද්ධ උපත් පාලන ක්‍රමයක් වන අතර එහි අමතර වාසියක් ලෙස සමාජ රෝග සම්ප්‍රේෂණය වීම අවම කිරීමද සිදුවේ. නමුත් මෙහිදී ලිංගික තෘප්තිය අඩු වීම ප්‍රධාන අවාසියක් ලෙස පෙන්වා දිය හැක.

ඉහත සඳහන් කළ කිසිදු උපත් පාලන ක්‍රමයක් 100% ආරක්ෂිත නොවන අතර, ඕනෑම උපත් පාලන ක්‍රමයකින් දරු ගැබක් ඇති වීමේ අවධානමක් ඇත. 

ඔබ නිවැරැදි උපත් පාලන ක්‍රමය තෝරා ගත යුත්තේ,
ඔබේ වයස, බර, ඔබ කරන රැකියාව සහ සමාජ පරිසරය වගේම කොපමණ කාලයකට උපත් පාලන ක්‍රමයක් අවශ්‍ය ද යන්න මතයි.

උපත් පාලනය සහ නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ඔබේ දරුවන්ටත් නිවැරදි වයසේදීම ලැබිය යුතුයි, එමඟින් අනාගතයේ වියහැකි දරුණු සමාජීය ගැටලු වළක්වා ගැනීමට හැකියි.

✒️by වෛද්‍ය ඉනූෂ අඹගහවත්ත

No comments:

Post a Comment